හිතේ දුකට ලියවෙන කවි




පුතේ නුඹව කැන්දන් ආ නුමේ සොඳුරු ප්‍රියාවියට
මවක් වෙලා පියෙක් වෙලා ජීවිතයේ රස විඳින්ට
දුවෙකුට මෙන් ආදරයෙන් රැකවරණය ලබා දෙන්ට
සිහින මැවූ අපට උනේ ඒ සිහිනෙට හූල්ලන්ට

නුඹේ පුංචි කොළු පැටියා තුරුළු කරන් නිදා ගන්ට
ඇතෙත් වෙලා පිටේ තියන් ගෙයි සාලේ දණ ගාන්ට
උගේ කැකුළු සිනා හඬට ගීයක් මෙන් සවන් දෙන්නට
සිහින මැවූ අපට උනේ ඒ සිහිනෙට හූල්ලන්ට

නුඹත් නුඹේ ප්‍රියාවියත් ආදරයෙන් අපෙ නිවසට
දරු පැටියත් තුරුළු කරන් සෙනෙහෙ සිතින් එන දවසට
නුඹේ පුතා අතට අරන් ළපටි කොපුල්  සිපගන්නට
සිහින මැවූ අපට උනේ ඒ සිහිනෙට හූල්ලන්ට

උකුලෙ තියා ආදරයෙන් කිරිකැටියා නිදි කරන්ට
මොළකැටි පොඩි අත් අල්ලන් ගේ මිදුලේ පිය නගන්ට
අප දන්නා සියළු කථා ඒ පැටියට කියා දෙන්ට
සිහින මැවූ අපට උනේ ඒ සිහිනෙට හූල්ලන්ට

බැරි උනමුත් අපට දුවෙක් වෙන්න ‍නුඹේ ප්‍රියාවියට
අපේ නැතේ විරසකයක් පුතේ නුඹේ ආදරයට
ඒත් පුතේ දරු සෙනෙහෙයි අපට ඕන මහළු වියට
සිහින මැවූ අපට උනේ ඒ සිහිනෙට හූල්ලන්ට

දරුවන්ගේ ජීවිතයට ආලෝකය ගෙනත් දෙන්නට
උන්ගෙ පවුල් ජීවිතයේ සෙනේහයට සතුටු වෙන්ට
නිකැලල් සෙනෙහසින් පිරුණු දරුවන් යුග දිවි දකින්ට
සිහින මැවූ අපට උනේ ඒ සිහිනෙට හූල්ලන්ට















No comments:

Post a Comment