නුඹ නිසා දුවේ මං

නුඹ ඉපදුන දිනේ
මා රජෙකි මට සිතුනේ
වඩා සෙනෙහසිනේ
බැලූ සුරතල් කිමද මැකුණේ

රුවින් නුඹ දින දින
වැඩෙන යුරු මන බඳිමින
සෙනෙහෙ සිත වඩමින
බලා සිටියෙමි පියෙකු විලසින

නිවසේ රජින්දා
වීමි මම සිත බන්දා
එහි රසය වින්දා
මිණි පහන නුඹ හන්දා

බොළඳ බස් තෙපලන
නුඹ සුරත මා අරගෙන
පිය නගා ඇවිදින
සමය සිහි වේ උකුලෙ නැලවුන

සුදු ගවුම අන්දා
පාසලට නුඹ කැන්දා
සෙනෙහෙ සිත රන්දා
ගියපු දින මතකදැයි මන්දා

තුරුණු විය පත් වී
පෙම් සිතින් මුසපත් වී.
ප්‍රියා සහ එක්වි
සොරෙන් ගියෙ නුඹ අපෙන් වෙන් වි

නුඹ ගියපු දින එම
නෙත කඳුළු වන තෙක් නිම
නුඹෙ මවත් සහ මම
හැඬූයුරු සිහි වේය දින සැම

එදින සිට මගෙ මුව
සිනහව අතුරුදන් වුව
නෙත කඳුළු නිම බව
නොදැනුනේ ඇයි නුඹට මා දුව

සැමියාද අතහැර
කුඩා බිළිඳා තනිකර
ගිය දා නිවස හැර
මගේ දිවියද ගියා මා හැර

සිත දවන ගින්නේ
අරුමෙ නුඹ නොම දන්නේ
ඇවිදිමින් ඉන්නේ
මළ කඳකි මා මට සිතෙන්නේ.

නොමැත මට දිවියක්
නැතේ මට හෙට දවසක්
ජීවිතේ හරයක්
නොමැත මා හට කුමට සුවයක්

දරුවාද තනිකර
ගිය දිනේ අප අතහැර
මිය ගියෙ මම එවර 
දුවේ මා කළ වරද කවර?

සිතීමට හෝ සිතක්
ඇඬීමට හෝ නැත වතක්
විඳීමට දිවියක්.
නොමැති මට අද කුමට සුවයක්

දුවණියේ කියන් මට 
පන පිටින් මා මැරීමට 
කළ වරද නුඹ හට
නුඹෙ පියා මළකඳකි මිහිපිට

මෙබඳු  දුක් වේදනා
ලොව කිසිම පියෙකුට නොවේවා
ලොව කිසිම මවකට නොවේවා
ලොව කිසිම කෙනෙකුට නොවේවා

No comments:

Post a Comment