සාහිත්‍ය රස වින්දනය හා නූතන පරපුර



යම් ආහාරයක හෝ පානයක රසය දැනෙනුයේ දිව හා ඒ ආශ්‍රිත රස නහර නැතහොත් ඊට අදාල ස්නායු පද්ධතියට පමණි. එය කුඩා දරුවෙකුට වූවද විඳිය හැක. ඊට පෙර එම ආහාරය හෝ පානය ලබාගෙන ඇත්නම් එහි රසයේ ස්වභාවය පිලිබඳ යම් වැටහීමක් ආහාරය හෝ පානය භුක්ති විඳින්නාට ලබා ගත හැක. එහෙත් සාහිත්‍යමට රසය වනාහි මතු පිටින් කෙනෙතු දක්නා දෙයක් නොව සැඟ වී ගත්තකකි. එය සොයා යා යුතුය. සොයා ගැනීමටනම් හඳුනා ගත යුතු ය. හඳුනා ගැනීමටනම් ඒ පිළිබඳ දත යුතුය. දැන ගැනීමටනම් රසඥතාවය වර්ධනය කර ගත යුතුය. සාහිත්‍ය කෘතියකින් ලැබෙනා රසය නිරාමිස රසයකි. සියළු සිරුර පුරා විහිදී ඇති රස නහර නැතහොත් රස ස්ණායු වලට එහි රසය දැනේ. ඉන් ලැබෙනුයේ මානසික සුවයකි. එම මානසික සුවය මෙබඳුයයි කෙනෙකුට කිව නොහැක. එමෙන්ම සාහිත්‍ය කෘතියක රසය පුද්ගලයාගෙන් පුද්ගයෙකුට වෙනස් ලෙස දැනිය හැකත ඒ එම කෘතිය පරිහරණය කරන්නාගේ බුද්ධි ප්‍රමාණය හා ස්වභාවය අනුව වේ.
නූතන පරපුර සාහිත්‍ය රසාස්වාදයෙන් ඈත් වී වෙනත් ආශ්වාදයන් කරා යොමු වී සිටී. දැනට වසර 30 කට පමණ පෙර සිනමා ශාලා පිරී ඉතිරී යනතරම් පිරිස් සිනමාපට නැරඹූහ. නවකථාවක් හෝ කෙටිකථා සංග්‍රහයක් මුද්‍රණද්‍රාවරයෙන් එළිදැක් වූ විගස ඒවා මිළට ගැනීමට පිරිස් පොත් අලෙවිසල් වෙත පැමිණියහ. එම කෘති පිළිබඳ පක්ෂ විපක්ෂ විචාර පුවත්පත් වල පලවූහ. ඒවා කියවා එම විචාරවලට පක්ෂව මෙන්ම විපක්ෂව ලිපි ලියූ ප්‍රබුද්ධ රසවතුන්ගෙන් එදා සමාජය සුලභ විය. අද සිනමා ශාලා වෙත ප්‍රබුද්ධ හෝ වාණිජ සිනමා පට මුදා හැරියද ඒවා නැරඹීමට පැමිණෙන පිරිස් ඉතා අල්පය. නවකථාවක් හෝ කෙටිකථා සංග්‍රයක් එළි දැක්වීම ඉතාමත් අසීරුය. මන්ද පොත් අළෙවියේ ඇති දුෂ්කරතාවය නිසා පොත් ප්‍රකා‍ශකයින් අළුතින් පොත් මුද්‍රණය කිරීමට උනන්දු නොවේ. පොත් පත් මුද්‍රණය කර ප්‍රකාශ කිරීමට වඩා ලාභදායී වෙනත් ව්‍යාපාර ඇත. පොත් පත් අලෙවි කිරීමේ දුෂ්කරතාවය ඊට හේතු වේ. පොතක් පතක් කියවා හෝ සිනමා පටයක්, වේදිකා නාට්‍යක් බලා රස විඳීමට හැකි ප්‍රබුද්ධයින් අද තරුණ පරපුර තුල ඇත්තේ ඉතාමත් අල්ප වශයෙනි.
මානසික වින්දනයන්ට වඩා කායික සංතර්පණයන් වෙත තරුණ පරපුර යොමු වී ඇත. සමාජය තුල අපචාර බහුලවීමේ එක් සාධකයක් වනුයේ රසඥතාවයෙන් හීන කායික සංතර්පණයම වින්දනය කරගත් තරුණ පරපුරයි. නූතන තරුණයා කියවීමෙන් තොර හා විචාර බුද්ධියෙන් හීන පුද්ගලයෙකු බවට පත් වී ඇත. සියළු දෙයම මිළ මත තීරණය වන සමාජයක් බිහිවෙමින් පවතී. මාතෘ ස්නේහය පවා මිළ හමුවේ වැලලී ඇත. මෙසේ නූතන පරපුර රසඥතාවයන්ගෙන් හීන හා ආත්මාර්ථකාමී පරපීඩක මනසින් යුත් පරපුරක් බවට පත් වූයේ ඇයි ද යන්න විමසා බැලීම වටී.
යම් නිර්මාණයක් බිහිවීටනම් නිරවුල් මනසකින් හා නිරවුල් පරිසරයකින් හෙබි සමාජයක් තිබිය යුතුය. බුදු කෙනෙකුන් පහල වීමට පෙර පස්මහ බැලුම් බලයි. සාහිත්‍ය නිර්මාණ බිහිවීමටද එබඳුම කරුණු පහක් සම්පූර්ණ යුතුය.
·        නිර්මාණකරණයට හා අධ්‍යාපන පර්යේෂණවලට යොමු කරවන අධ්‍යාපන ක්‍රමයක්
·        උසස් ගණයේ නිර්මාණ බිහිකළ හැකි බුද්ධිමතුන්ගෙන් ගැවසීගත් සමාජයක්
·        බුද්ධිමතුන්ගේ නිර්මාණ සමාජගත කිරීමට විධිමත් වැඩ පිලිවෙලක්
·        නිර්මාණකරණයට අතහිත දෙන බුද්ධිමත් රාජ්‍ය පාලකයින්
·        නිර්මාණ සඳහා නිසි ඇගයීමක්
පසුගිය සමය මේ සියළුම සාධකයන් වත්මන් පරපුර තුලින් නිෂේධනය කර ඇත. වර්ෂ 30 ක් තරම් ඇදීගිය වර්ගවාදී අරගලයත් භාෂාව පිළිබඳ දේශපාලඥයන් දක්වන ලද කුඩම්මාගේ සැලකිල්ලත් නිසා වත්මන් පරපුරේ රසභාවයන් පිළිබඳ දැනීමත් ඒ පිළිබඳ ඇති ඍණාත්මක ආකල්පත් මත නිර්මාණාත්මක් සාහිත්‍යක් බිහි නොවීය. සමාජ අසාධාරණයන්ට එරෙහිවීම නිර්මාණකරුවකුගේ වගකීමකි. එවැනි නිර්මාණකරුවන්ට පසුගිය සමයේ හිමිවූයේ මරණය පමණි. පහල මට්ටමේ සෘංගාරය හා කාමෝද්දීපන ප්‍රකාශන මගින් තරුණ සමාජයේ මානසිකත්වය විකෘති කරීම තුලින් සමාජ අසාධාරණය යටපත් කිරීමට පාලකයෝ කටයුතු කළහ. එම විකෘති මනසින් යුත් වත්මන් තරුණ පරපුර තමන් සමාජ අසාධාරණයකට ලක්ව ඇති බව පවා නොදනී. ඒතරම්ම ඔවුන් සෘංගාරයේ නිද්‍රාගතකොට ඇත.
පැරණි සාහිත්‍ය කෘති නූතන තරුණ පරපුර කිසිම විටෙක පරිහරණය නොකරයි. එමෙන්ම එම කෘති නොහඳුනයි. 1977 ට පෙර එම කෘති පාසල් මෙන්ම උසස් අධ්‍යාපනයටද යොදා ගැනුණි. අමාවතුර. බුත්සරණ, පූජාවලිය, සද්ධර්මරත්නාවලිය, පන්සියපනස් ජාතක පොත, බෝධිවංශය ආදී ඉපැරණි ගද්‍ය සාහිත්‍ය කෘතීන් මෙන්ම බුදුගුණ අලංකාරය, කාව්‍යසේකරය, සැලලිහිණි සංදේශය, පැරකුම්බාසිරිත ආදී පද්‍ය සාහිත්‍ය පිලිබඳ දැනුම නූතන පරපුරෙන් ගිලිහී ඇත.
නූතන සාහිත්‍ය නිර්මාණ විවිධය. නවකථා, කෙටිකථා, සඳැස් කවි, නිසඳැස් කවි, ගීත, නාට්‍ය, සිනමා ආදී සාහිත්‍ය නිර්මාණයන්ට 1980 සිට ටෙලි නිර්මාණද එක් විය. 1975 ට පෙර මෙම ක්ෂේත්‍ර හරහා ප්‍රබුද්ධ නිර්මාණ ඉතාමත් සුමිහිරි ලෙස සමාජගත විණ. එදා නිර්මාණ කරුවා මුදලට වඩා සිය නිර්මාණයේ අදීනත්වය අගය කළේය. මහගම සේකරයන්ගේ මධුර සංකල්පනා හා බැඳුණු අමරදේවයන්ගේ සමධුර ගායනයන් සර්වකාලීන අගයෙන් යුතු ගීත සාහිත්‍යක් අපට දායාද කර ඇත. එම යුගයේ බිහි වූ බයිලා සාහිත්‍ය පවා ඉතාමත් විශිෂ්ඨ වින්දනීය එකකි. නන්දා මාලනිය, හා අමරදේවයන් පසුපස ගිය ගායක පරපුරක් එකල වූහ. එකල අපගේ ගීත සාහිත්‍ය ඉතා ඉහල රසයෙන් යුතු නිර්මාණයන්ගෙන් පෝෂණය විය.
මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරත්චන්ද්‍ර, ගුණදාස අමරසේකර, ජී.බී. සේනානායක, මඩවල එස්. රත්නායක වැනි දේශීය නවකතා හා කෙටිකථාකරුවන් ද ලෙස්ටර් ජේමිස් පීරීස්, ධර්මසිරි බණ්ඩාරනායක, ඩී.බී. නිහාල්සිංහ හා සිරි ගුණසිංහ බඳු ප්‍රබුද්ධ සිනමා අධ්‍යක්ෂවරුන් හා සරච්චන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, ධම්ම ජාගොඩ, හෙන්රි ජයසේන, සුගතපාල ද සිල්වා ආදී ප්‍රවීන නාට්‍යකරුවන්ද සිංහල සාහිත්‍ය වංශකථාවේ නොමැකෙන නම් වේ. මෙම ප්‍රබුද්ධයින් අනුකරණය හා අනුගමනය කළ ලේඛක පරපුරක් ද සිනමා හා නාට්‍ය නිර්මාණ කරුවන් පරපුරක්ද 1975 ට පෙර බිහිවූහ.
එකල කවියට සමාජයේ ඉහල පිලිගැනීමක් විය. කොළඹ යුගයේ කවීන් වූ පී.බී. අල්විස් පෙරේරා, මීමන ප්‍රේමතිලක, සාගර පලන්සූරිය, ජෝන් රාජදාස, විමලරත්න කුමාරගම ආදී කවීන්ද ඔවුන්ගේ නිර්මාණ රසවිඳි පරපුරද සිංහල සාහිත්‍ය වංශය පෝෂණය කරන ලදී. එකල ප්‍රාදේශිකවද විවිධ කවි සඟරා බිහි විය. ඒවා සමාජයේ විවිධ මට්ටමේ බුද්ධිමතුන් ගේ රසවින්දනයට බඳුන් විණි.
යටත් විජිතවාදීන්ගෙන් නිදහස ලද පසු සමාජ අසාධාරණයට එරෙහි පළමු තරුණ නැගිටීම1971 අප්‍රේල් මස 05 දින සිදු විණ. ඉන් සමාජයේ බොහෝ පරිවර්ථනයන් සිදුවිය. ඉඩම් හිමියාත් එම ඉඩම්වල කුලීකරුවාත් විශාල වෙනසකට භාජනය කරමින් ඉඩම් ප්‍රතිසංස්කරණ පනත මගින් රජයට පෞද්ගලික ඉඩම් පවරා ගැනීම නිසා එක් පුද්ලයෙකු සතුව තබාගත හැකි උපරිම භූමි ප්‍රමාණය අක්කර 50 කට සීමා විය. මෙසේ ඉඩම් පවරා ගැනීමට මූලිකම හේතුව වූයේ මෙම තරුණ නැගිටීමයි. එමෙන්ම තරුණ පරපුර බුද්ධියෙන් හා රසාශ්වාදයෙන් තොර නරුම කොටසක් කිරීම තුලින් සමාජ අසාධාරණයන්ට එරෙහි නොවන එහෙයියන්ගෙන් පිරි තරුණ පරපුරක් බිහි කිරීමේ දේශපාලන අවශ්‍යතාවය මත භාෂා හා සාහිත්‍ය අධ්‍යාපනය පාසලින් ඉවත් වීමටද එය හේතු විය.  
1977 බලයට පැමිණි රජය එතෙක් සංවෘත ආර්ථිකයක්ව පැවති ජාතික ආර්ථිකය ලොවට විවෘත කිරීම නිසා හරවත් දේ මෙන්ම නිස්සාර බොහෝ දේ අපට අකමැත්තෙන් වූවද භාර ගැනීමට සිදුවිය. එම නිසරු දේ අතර නූතන රසභාවයෙන් තොර පරපුරද වේ. එබැවින් රසාඥතාවයෙන් පිරිපුන් සමාජයක් යළි බිහි කිරීමට මුල් පියවර තැබිය යුත්තේ පාසල නැතිනම් අධ්‍යාපන ක්‍රමය මහත් වෙනසකට බඳුන් කිරීම තුළිණි.
බස නොදැනීම බසෙහි රස නොදැනීමටද හේතු වේ. භාෂා අධ්‍යාපනය තරුණ පරපුරෙන් ගිළිහී යන්නට හේතු වූයේ 1977 න් පසු අධ්‍යාපනය ජීවනෝපායක් බවට පත් වූ නිසාවෙනි. මේ නිසා භාෂා ඉගැන්මට වඩා රැකියා අරමුණු කර ගත් අධ්‍යාපනයක් කරා සමාජය යොමු විය. විද්‍යාව හා වෙළඳාම අරමුණු කරගත් අධ්‍යාපනය තුලින් භාෂා හා සාහිත්‍ය ඉගැන්වීම ඉවත් විය. මේවන විටත් එම ක්‍රමය වෙනස් වී නැත. වෘත්තිකයින් නරුමයින් වූයේ මෙම සාවද්‍ය ක්‍රමය නිසා බව මගේ අදහසයි. 1975ට පෙර වෛද්‍ය විද්‍යාලයට ගිය තරුණයින් උසස් පෙළ දක්වා භාෂාව හා සාහිත්‍ය උගත් අතර, උසස් නිර්මාණාත්මක සාහිත්‍යකටද ඔවුහු දායකත්වය සැපයූහ. එහෙත් 1977 පසු භාෂා හා සාහිත්‍ය අධ්‍යාපනය අනවශ්‍ය සේ සලකා පාලකයින් විසින්ම බැහැර කරන ලදී.  මේ නිසා පසුගිය කාලය තුල බිහි වූයේ අවර ගනයේ නිර්මාණයන්ය. පෙර බිහිවූ උසස් නිර්මාණ රස නොවිඳි පරපුරකින් උසස් ගණයේ සාහිත්‍ය නිර්මාණයන් බිහිවිය නොහැක. පැරණි විදග්ධයන් විසින් බිහි කළ නිර්මාණ පිළිබඳ දැනුමත් ඒවා විඳීමට තරම් උසස් වූ භාෂා හා රසභාව පිළිබඳ අවබෝධයත් නූතන පරපුර සතුව නැත. ‍
අමාවතුර කී විට අද පරපුර සිතන්නේ සුරා සැලක අලෙවි කරන මත් වතුරක් ලෙසිනි. බුත්සරණ නූතන පරපුරට මල් විශේෂයකි. සද්ධම්මරත්නාවලිය ස්ත්‍රී පළඳනාවකියි, ඔවුන් සිතති. රසවාහිනිය රූපවාහිනිය හෝ ගුවන් විදුලි නාලිකාවක් යයි කියනු ඇත. පැරණි ග්‍රන්ථ පිලිබඳ නූතන පරපුරේ දැනුම එබඳු වේ. ඉදින් කෙසේනම් රසඥතාවයෙන් පිරි අනාගත පරපුරක් පිළිබඳ සිතිය හැකිද?
එසේ පොතපතින් සමාජය ඈත් වීමද රසඥතාවයෙන් තොර සමාජයක් ඇති වීමට හේතු විය. තාක්ෂණ මෙවලම් නිවෙස් වලට පැමිණීමත් සමග පොතපත ඇසුර ළමා වියේ සිටම සමාජයෙන් ගිළිහී යමින් පවතී. රූපවාහිනිය, වැනි දෘශ්‍යමාධ්‍යත් පරිගනකය වැනි තාක්ෂණික මෙවලමුත් නිවසේ සාලයට පැමිණීම මත පොතපතේ ගැලී සිටි දරුවා දවස ආරම්භයේ සිටම එම මෙවලම් සමග කටයුතු කිරීම රසභාව ඔවුන් තුලින් ගිලිහී යාමට හේතු විණ.  එම දෘශ්‍ය මාධ්‍ය මගින් බිහි වූ නිර්මාණයන්ද අවර ගනයේ ඒවා විය. වාණිජ කරණය වූ සමාජයක් තුලින් බිහි වනුයේ සිය වෙළඳාම  අරමුණු  කරගත් නිර්මාණ වීම ඊට හේතු විය.
උසස් ගනයේ නිර්මාණ සමාජයට දායාද කළ හැකි ටෙලිනාට්‍ය වාණිජ කරණය වීම මත මධ්‍යම පාන්තික සාමාජයේ පවුල් ආරවුල් පමණක් දැක්වෙන ටෙලි නිර්මාණ බිහි වීම මත උසස් ටෙලි නාට්‍යයක රසය අපට විඳීමට නොහැකි විය. රස භාව පිළිබඳ හැඟීමක් නොමැති සමාජයද වැඩිපුරම ඉල්ලා සිටියේ එබඳු නිර්මාණ වූයෙන් උසස් නිර්මාණ බිහිකිරීමට නිර්මාපකයින් ඉදිරිපත් නොවිණි. ඒ නිසා උසස් ගනයේ ටෙලි නිර්මාණ බිහි නොවිණි. විදේශ බාල ටෙළි නිර්මාණ සිංහලෙන් හඬකවා ප්‍රදර්ශනය කිරීම රූපවාහිනී නාලිකා හිමිකරුවන්ට විශාල ලාභ ගෙනදෙන්නක් විය. මේ නිසා නව නිර්මාණ සඳහා පෙළඹවීම් ඇතිකරවන පසුබිමක් රූපවාහිනී මධ්‍ය තුල නොවිණි. ඒ තුලින් බිහිවූයේද ඉන්දීය බාල ටෙලි නිර්මාණවල අනුකරනයන්ය.
නිමාණකරුවාද ජීවත් විය යුතුය. වාණිජ අරමුණු සහිත සමාජයක මුදලට ඇති වටිනාකම නිර්මාණය ඇගයීමට නොලැබිණ. පොත්පත් අළෙවි වන පරිසරයක් සමාජයේ නැත. දැනට වසර 40 කට පෙර කවියට හා කවියාට සමාජයේ තිබූ පිළිගැනීම අද මුදලට හා මුදලාලිලාට ලැබීමත් විවෘත ආර්ථිකය සමග ගලා ආ සෘංගාර නිර්මාණත් සමාජ චින්තනය උඩුයටිකරු කර ඇත. නූතනයේ අපරාධ හා දුෂණ බහුල වීමේ ආරම්භය එය බව මගේ විශ්වාසයයි. රසය නොදන්නා පරපුරක් බිහිවීම ඇරඹෙන්නේ 1977 වසරේ අපට හඳුන්වා දෙන විවෘත ආර්ථිකයත් සමගිණි. එදා පාසලින් සාහිත්‍ය හා භාෂාව ඈත් කෙරිණි. වාණිජකරණ වූ සමාජයක වාණිජ අරමුණු සඳහා භාෂා හා සාහිත්‍ය දැනුම අනවශ්‍ය බවට එදා සිටි දේශපාලඥයින් විශ්වාස කිරීම ඊට හේතු විය.
මේ නිසා ශ්‍රව්‍ය හෝ දෘශ්‍ය උසස් නිර්මාණ බිහිවීම නතර වී වාණිජ නිර්මාණ බිහිවීම ඇඹිණි. උසස් සිනමා සිත්තමක හෝ ටෙලි සිත්තමක රසයත් කවියක හෝ නවකථාවක රසයත් අද පරපුර නොදනී. සේකරයන්ගේ, වික්‍රමසිංහයන්ගේ හෝ නිර්මාණායක රසය විඳ ගැනීමට තරම් වත්මන් පරපුරේ භාෂාඥානය ප්‍රමාණවත් නොවේයයි මට සිතේ. සේකර ගේ ගීතයක රසය වෙනුවට බයිලා රස සොයා යන පරපුරක් ඇතිවූයේ එබැවිණි. මාර්ටින් වික්‍රමසිංහයන්ගේ නවකථාවක හෝ සරත්චන්ද්‍රයන්ගේ නාට්‍යයක රසය විඳ ගැනීමට තරම් රසභාව ඇතිකර ගැනීමට හැකි මනසත් නූතන පරපුරට නැත. එය 1977 න් පසු සිතාමතා මොට කිරීම නිසා රසඥතාවයෙන් තොර සමාජයක බිහිවීම ඇරඹී ඇත.
වත්මන් පර පුර රස නොදනී. රස නොදැනීමට මූලිකම හේතුව බස නොදැනීමයි. බස නොදන්නේ රස නොහඳුනති. එබැවින් නූතන සමාජය භාෂා දැනුමෙන් සන්නද්ධ කළ යුතු වේ. එය කියන තරම් සරල දෙයක් නොවේ. අසීරු කටයුත්තකි. බස පිළිබඳ උනනදුව හා භාෂා අධ්‍යාපනයට පිළිගැනීමක් පැවති යුගයේ රසඥයින් මෙන්ම රසඥතාවයෙන් පරිපූර්ණ නිර්මාණ ද බිහි විය. මුනිදාස කුමාරතුංග ශූරීන් භාෂාව පිළිබඳ පර්යේෂණ කරමින් භාෂාඥානය සමාජය තුළ වර්ධනය කළ සාහිත්‍ය හා නිර්මාණ යුගය දෙස ආපසු හැරී බැලීම වට්න්නේ ඒ නිසා වෙනි.  
රසභාවයන්ගෙ පිරි නිර්මාණ අද පරපුර පරිහරණය කරන මාධ්‍ය හරහා සමාජයට ලබා දී ඒවා ඇගයීමටත් ඒ තුළ ඇති රසයන් විඳහැනීමට හැකි නිරවුල් මනසකින් යුතු පරපුරක් බිහිකිරීමත් තුළින් රසඥතාවයන්ගෙන් පිරි සමාජයක් බිහි කිරීමට මුල් පියවර තැබිය යුතුය. එමෙන්ම භාෂාඥානයෙන් හා සාහිත්‍ය රස වින්දනයෙන් ඔවුන් සන්නද්ධ කළ යුතු වේ. පාසලින් ඈත් කළ හා ඇගයීමෙන් තොර කළ භාෂා හා සාහිත්‍ය අධ්‍යාපනය නැවත ආරම්භ කළ යුතු යුගය එළඹී ඇත. පාලි හා සංස්කෘත යන මව් භාෂා පාසැල් අද්‍යාපනයට ඇතුලත් කළ යුතුය. බාලාංශ අධ්‍යාපයේ සිටම එය ආරම්භ කළ යුතු කාලය එළඹ තිබේ. එසේ නොවුනහොත් බස නොදන්නා හා රස නොදන්නා සමාජයක අත් දැකීම් වන දූෂණයත් භීෂණයත් පමණක් වෙලාගත් මව් පියන් පවා නොහඳුනන නරුම සමාජයක් පමණක් ඉදිරියේදී බිහිවනු ඇත.

2 comments:

  1. ලිපියනම් හොදයි..ඒත් නූතන කලාකරුවන් ගැන ඔබෙන් ඇගයීමක් වෙලා නැති එක නම් දුර්වලතාවයක්..දිගින් දිගටම නුතන පරපුරට වගේම නූතන කලාවටත් පහර ගැසීමක් දකින්නට තියනවා. ඔබ නූතන ශුංගාරාත්මක කෘති සියල්ල විවේචනය කරලා තියනවා..එහෙම වුනත් හැම කෘතියක් ම ඒ වර්ගීකරණයට දැමීම සුදුසු නැහැ..මහගමසේකරට සරච්චන්ද්‍ර මහත්මයාට මාටින් වික්‍රමසිංහ ආදීන් හැරුනු කොට කලාවක් නෑ කියලා දකින්නේ සමාජයේ වැරැද්දෙන් ��

    ReplyDelete
  2. ස්තුතියි. සිතීමට යමක් ඔබ විසින් ඉදිරිපත් කළාට.

    ReplyDelete