කුඹුක් ගස හා බට පඳුර


 (එක්තරා කාර්යාලයක් ඉදිරිපස ඉතා විශාල කුඹුක් ගසෙක් විය. අතුපතර විහිදුවා ඉතා සාරවත්ව උසට වැඩුණු මෙම කුඹුක් ගස වනස්පති වෘක්ෂයක් සේ පෙණින. හමනා සුලං හමුවේ මද සෙලවීමකදු නො කළ මෙම කුඹුක් වෘක්ෂය අසලම කුඩා බට පඳුරක්ද තිබිණ. ඉතා මද සුළඟකට පවා තදින් නැමී ගත් මෙම බට පඳුර දෙස කුඹුක් ගස නිතරම ඔලොක්කු සිනහවකින් යුතුව බලමින් මෙසේ පැවසීය.)

බට පඳුරේ උඹ පුංචිම පුංචි හුළඟටත් බයෙන් බිමටම නැමෙනවා. හරියට ලොක්ක ලඟ ඉන්න ආරච්චි දැක්කම බය වෙන ක්ලාක් මහත්යෙක් වගේ. උඹේ ඔය දුර්වල කම සියළු ගස් වර්ගයාටම මහ නින්දාවක්. ඔය තරම් නැමෙන්න එපා බං. මං ලඟත් ඔයතරම් නැවෙන්න මොකෝ මම ලොක්කෙක්ද?.  මං වගේ කෙලින් ඉන්න බලපන්. 

(බට පඳුර කෙලින් සිටීමට කෙතරම් උත්සාහ කළද සුලං හමනා විට නොනැමී සිටීමට ඔහුට නොහැකි විය. හේ  සිය දුරුවල කම පිළිබඳව තැවෙමින් කුඹුක් ගස අමතා මෙසේ පැවසීය.)

අනේ කුඹුක් උන්නැහේ. මං කොච්චර උත්සාහ කළත් මේ සුළඟ මම බිමට සමතලා කරගෙන හමනවනේ. නොනැමී ඉන්න ඔයාට තරම් හයියක් මට නැහැ මොනව කරන්නද? බට පඳුරක් වෙලා ඉපදෙන්න මම පූර්වේ කරුමයක් කරන්න ඇති. 

කුඹුක් ගස මහ හඬින් සිනා සෙමින් බට පඳුරට තවත් අපහාස කළේය. 

තමුසෙනම් මහ නෝන්ජලයෙක්, හරියට ලොක්කගේ ඩ්‍රයිවර් ඉස්සරහත් හතරට නැවෙන කන්තෝරු කාරයෙක් වගෙයි. මේ තරම් පුංචි එවුන් ඉදිරියෙත් නැමෙන්නෙ. බලනව මං දිහා, මම කිසි එකෙකු ඉදිරියේ නැමෙන්නෙ නෑ. මොන ජගතෙකුටවත් මාව නවන්නනත් බෑ. මම නැමෙන්නෙත් නෑ.

මොනව කරන්නද කුඹුක් උන්නැහේ. මහ උන්ට වැඩිය මේ පුංචි එවුන්ගෙන්මනේ කරදරේ. බලනව අර ලොක්ක ලඟට ගිහින් කොච්චරවත් කුටු කුටු ගාගා එක එක්කෙනා ගැන කේලම් පටවන නෝන, එයා ලොක්ගෙ ගෙදර හැම වැඩක්ම කරනව, ළමයි බලනවා, උයනවා, අතු ගානවා. එයා දැක්කම කන්තෝරුවෙ ඔක්කොම බිරාන්ත වෙනවා.

නැතුව නැතුව මම අහගෙන දවසක් එයා කාටද කියනවා ලොක්කගේ ඇ‍ඳෙත් හොරෙන් නිදා ගන්නවා කියල.

කාටද? ලොක්කට හොරෙන්ද?

පිස්සුද? නෑ නෑ ලොක්කගෙ නෝනට හොරා.

ඕව මොනවද කුඹුක් උන්නැහේ, සමහර මහත්තුරු ඉන්නෙ තමන්ගෙ නෝන ලොක්කගෙ කාමරේට යවල දොරකොඩ මුර කරන.  ලොක්කො හිතන්නෙ උන් ලඟට ඇවිත් නැති දෙවල් ඇති කරල ඇති දේවල් නැති කරල කියන්නෙ ලොක්කට ආදරේට කියල. ඒ අය තමන්ගෙ දුර්වල කම් වහගන්නයි, කාර්යාලෙ තියන තියන ලාභ ප්‍රයෝජන ගන්නයි, අනුන්ගෙ බෙලි කපන්නයි මේව කරන බව ලොක්කො තේ‍රුම් ගන්න කොට පෙරහැර ගිහින්.

ඔව් ඔව් සමහර කන්රුතෝරුවල නෝනල මහත්තුරු ලොක්කන්ට කොච්චර හොඳට අන්දනවද කියල තේරෙන්නෙ එයාල ලොක්කගෙ රෙදි ඔක්කොම ගලෝල ඒව තමන් ඇඳගෙන රඟපාන හැටි දැක්කම.

ආං..... ආං.... අර බලපන් බට පඳුරෙ, අර මහත්තය ලාච්චුව බාගෙට ඇරගෙන ඉන්න හැටි. අන්න අන්න අර ලී මුදලාලි ඒකට කවරයක් දැම්ම. අපිට ඉතින් දෙයියන්ගෙම පිහිට තමයි.
අපි කපන්න සුදුසද? නැත්ද? කියල බලන්න යන ඔය මහත්තය වන පාළුවෙක්. ජරා පප්පෙක්. මේ රට කාන්තාර වෙන එක පුදුමයක් නොවෙයි කුඹුකේ. ඔය විදියට මේ අය රාජකාරි කළොත් අපිට විතරක් නොවෙයි ඒ අයටත් මේ රටටත් දෙයියන්ගෙම පිහිට තමයි.

ඕව ඔහොම තමයි බටයෝ. ප්‍රමිතියට නැතුව හදපු ඉදිකිරීම් වලට ප්‍රමිති දෙන එකයි ඒවට පඬුරු පාක්කුඩම් ලැබෙන එකයි මම මෙතන ඉඳගෙන කොච්චරනම් දැකල තියනවද. උන්ට කිසිම හෙනයක් නෑ බං. ඒව වදින්නෙත් අපි වගේ අහිංසකයින්ට.

ඔව් ඉතින් කුඹුක් උන්නැහේල වගේ බලවත් අය සියළුම දොස් දාන්නෙ අපි වගේ පුංචි එවුන් පිටමනේ. ඒක මේ ලොකෙ හැටි. පොඩි එකා මහ එකාට ගොදුරු වෙන එක. මගේ හිතට අමාරු මහ උන්ගෙ කටු කන එවුනුත් පොඩි උන් ගොදුරු කර ගන්න එකයි.

එක් වරම අහස කළු කර මහා සුළඟක් හමන්නට විය. බට පඳුරට තමන් සිටිනා තැනද අමතක අමතක විණ. හේ බිමටම සමතලාවී නැවිණි. මහ වැස්ස සමග මහා කුණාටුවක් ඇරඹිණි. අවටින් ගස් බිඳෙනා හඬ ඔහුට ඇසිණ. එහෙත් හිස ඔසවා බැලීමට නොහැකි විය. හේ බිමටම සමතලා වී සිටියේය.

වැස්ස තදින් පැවතුනද කුණාටුව නතර විය. ටික වේලාවක් සිටි ඉරියව්වෙන්ම ගත කළ බට පඳුර අමාරුවෙන් හිස ඔසවා බැලීය. කුඹුක් ගස පෙනෙන්නට නොවීය. හේ අවට සිසාරා බැලීය. කඳ මැදින් බිඳී ගිය කුඹුක් ගස කාර්යාලය අසල කඩා වැටී තිබෙනු දක්නට ලැබිණ.
බලවතුන් ඉදිරියේ නැවෙන්නෙ නැතුව සිටීමට උත්සාහ කළ කුඹුක් ගසට සිදුව ඇති විපත දුටු බට පඳුරට දැඩි දුකක් හා කණගාටු ඇති විය. හේ මෙසේ සිතීය.

අසීමිත ලෙස නැමෙන්නට පුළුවන් උන හින්ද මම බේරුණා. එහෙම නූනානම්  මටත් වෙන්නෙ කුඹුක් ගහට වෙච්ච දේමයි. පොඩ්ඩො ලඟත් හොඳට  නැමෙන්නට පුළුවන් එක අපේ පැවැත්මට මොනතරම් වටිනවද?

 (ඊසොප්ගේ උපමා කථාවක් ඇසුරිණි)

No comments:

Post a Comment