වෙනස



අපි ජීවත් වුනේ ගමේ කටුමැටි ගේක. ඒ කාලෙ ගමකට උළු සෙවෙලි කළ ගෙවල් තිබුණෙ කීපයක් පමණයි. හරිම සුන්දර ඒ වගේම සරල ජීවිතයක් අප ළමා හා නව යොවුන් වියේ ගත කළේ. හේනෙ කුඹුරෙ හරක බාන සමග ගත කළ ඒ ජීවිතයේ සුන්දර අත්දැකීම් අපේ ජීවිත ඔප මට්ටම් කළා.
මගේ පියා මේ ප්‍රදේශයේ හිටිය ගව වෙද මහත්තයෙක්. ඒ කාලෙ ගවයෙක් නැති ගෙදරක් තිබුණෙ කලා තුරකින්. හැම නිවසකම කිරි එළදෙනක් හැදුවා. අපේ ගෙදරත් සාමාන්‍යයෙන් හරක් 20 ක විතර ගව පට්ටියක් හිටියා. ඒ කාලෙ සමහර ගම්බාරයො හරක් අ‍ඳේට දුන්නා. ගෙවල් වල හදා ගන්න. පැටව් ලැබුණම එකෙක් ගම්බාරයට. අනිත් පැටියා අ‍ඳේට. එහෙම අරගෙන හදාපු ගව රංචුවක් තමයි අපට හිටියෙ. මේ ගවයො නානාප්‍රකාරයි. රතු,කළු, සුදු, දුඹුරු, ඒ වගෙම විවිධ වර්ණ සහිත ගවයො මේ විධියට එක එක විදියෙ හරක් අපේ පට්ටියෙ හිටිය.
ඒ වගේම කීකරු  හරක්, අකීකරු හරක්, හොඳට  වැඩ කරන හරක්, වැඩට කම්මැලි හරක් වගේම කිසිම වැඩක් නොකරන හරක් ඒ පට්ටියෙ හිටිය.
ඒ වගේම කිරි බෝතල් 05 ක් 06 ක් දොවන්න පුළුවන් වැස්සියො වගේම අඩුවෙන් කිරි දෙන වැස්සියොත් කිරි කඳුලක්වත් නොදී කිරි හංගන වැස්සියොත් මේ ගව පට්ටියේ හිටිය.
ඔක්කොටම වැඩිය ඉවසන්න බැරි එක කාරනයක් තිබුණා. මේ හරක් පට්ටිටය හිටියා හොරා කන හරක් කීප දෙනෙක්. අපේ ඇස් වහල අනුන්ගෙ කුඹුරුවලට පැනල කුඹුරු වනසල කාල දමන හොර හරක් නිසා අපි බැනුම් අහපු උසාවි ගියපු රණ්ඩු කරපු වාර අනන්තයි.
අපි උදේට ඉස්කොලෙ යන්න පෙර මේ හරක් අතරින් අකීකරු හොරා කන හරක් ලණු දාල බැඳල කීකරු හරක් ටික ලිහල අතෑරල දාල පාසල් යනවා.
ඇවිත් ආපහු ඔක්කොම හරක් ටික ලිහාගෙන කොහේ හරි ඉපනැල්ලකට, නැත්නම් පතනකට දාල කවාගෙන හැන්දෑ වෙනකොට ගාලට දක්කනව.
අපි ඒ කාලෙ කුමුරු හෑවෙ හරක්ගෙන්. හරකුන්ට කුඹුරු හාන විදිය ඒ වගේම කරත්තෙ බැඳල අදින විදිය උගන්වන්න ඕන. ඒ උගත් හරක්. හැබැයි හැම උගත් හරකම බුද්ධිමත් නෑ. සමහරක් හිටියා කිසිම දෙයක් පුහුණුකරල උගන්නල නැතිවට බුද්ධිය හොඳට තියනවා. උන් කරත්තෙට බැන්දත් නගුලට බැන්දත් එක වගේ අවශ්‍ය විදියට අවශ්‍ය පාරෙ ගියා. හී අතුර ලස්සනට හාගෙන යන්න පුළුවන් කම තිබුණා. උන්ට වමට හරවන් මහ්. කියල කියපුවම ඇති වමට හැරෙනවා. දකුණට හරවන්න චහ්. කිව්වම දකුණට හැරෙනවා. සමහරක් වමට දකුණට හරවන්න කොටුව නැතුවම බෑ. අපි හාන්න කරත්තෙ බඳින්න ගත්තෙ ඒ කිසිම අමාරුවක් නැතිව වැඩ කරගන්න පුළුවන් හරක්.
වැඩට කම්මැලි වැඩට හොර හරක් උදේ හිටන් රූ වෙනකම්ම අපූරුවට කාල බඩ පුරවගෙන තව අපි දැත්තම තප්පු ලලා අපිටත් අනින්න හද හදා ඉන්නවා.
ඉතින් මේ හරක් ගාලට දක්කන් එන්න මමයි අයියයි ක්‍රම දෙකක් භාවිතා කළා. අයියනම් කෝට්ටක් අරගෙන උන්ට තඩි බබා ගාලට අරන් එනවා. උන් කෝටුවට තියන බයට ගාල ඇතුලට රිංගනවා.
මම කළේ ඔය කෑලිය, ඒ වගේම දමනිය වගේ කොල අතු ටිකක් ඒ වගේම තම්බපු පැඟිරි රොඩු පිදුරු ටිකක් ගාලෙ සුද්ධ කරපු තැනකට දාල හරක් ටික අරගෙන එනවා. අර කෑම දකින හරක් ගාලට යන්නෙ පොර කාල.
අද මම වැඩිහිටියෙක් වෙලා මේ සමාජෙ සමග ගැටෙන කොට දැනෙනවා එදා මම හදාපු හරකුන්ගෙත් අපෙත් අතර ලොකු වෙනසක් නැති බව
වැඩ කරන උගත් හරක් වගේම වැඩ නොකරන උගත් හරක් ඉන්නවා. අපේ සමහරක් එසේමයි.
සමහරක්ට උගත් කම තිබුණට බුද්ධිය නෑ.
සමහරක්ට උගත්කම නැතිවට බුද්ධිය තියනවා.
සමහරක්ට මේ දෙකම තියනවා. ඒ උනාට වැඩක් නෑ.  කම්මැලියි.
සමහරක් වැඩ නොකර හොඳට කාල තර වෙලා මොල්ලිය පුම්බගෙන තප්පු ලලා අපිට අනින්න හදනවා.
මේ සියළුම හරක්ට වඩා වද විඳින්නෙ කරබාගෙන වැඩ කරන හරක්. උන් තමයි කරත්තෙ බඳින්න ගන්නෙත් හාන්න ගන්නෙත් තවලම් අදින්න ගන්නෙත්.
අර කාල තරවෙලා ඉන්න හරක් ගන්නෙ පට්ටි යන්න විතරයි. කොයි තරම් අවාසනාවක්ද. වැඩ කරන හරක වැඩ කරලම කෙට්ටු වෙලා දිරල ඉන්න නිසා ඌ දිහා අඩුම ගානෙ නාකි වැස්සියෙක්වත් බලන්නෙ නෑ.
අර වැඩ නොකර අනුන්ගෙ වගාවල් හොරට කාලා තර වෙලා ඉන්න හරකට තමයි වැඩිපුරම ඉල්ලුම. මස් මුදලාලිත් එහෙමයි. වැස්සියොත් එහෙමයි.
ඒ වගේම තමයි සැලකිල්ලත්. වැඩකරන හරකට කිසිම සැලකිල්ලක් නෑ. ඒත් වැඩ නොකර කාල තරවෙලා තප්පුලලා ඉන්න හරකට හරි සැලකිලි ගෞරව වගේම හරක් රංචුවෙ පෙරමුනේ යන්නෙත් උන්.
තප්පුලන කෑගහන පුම්බන හරක් වැඩ කරන්නෙ නෑ.
වැඩ කරන හරක් තප්පු ලන්නෙ නෑ.පුම්බන්නෙ නෑ.
මම එක්තරා කාලයක් ජරාව පිරුනු කාර්යාලයක වැඩ කළා. මගේ මික්‍රයෙක් හිටියා ජරා පප්පෙක්. මිනිහයි මායි හිටියෙ එකම බෝඩිමක. ‍කාර්යාලයට එන ඕනම කෙනෙකුට කිසිම භේදයක් නැතිව මම සේවය සැපයුවා. ලැබෙන වැටුපට විතරත් සීමා වෙලා.
ඒත් මගේ යාළුව ජරාවෙන් තොරව යමක් කළානම් ඒ අපේ ඉල්ලීමකට ඉතාමත් අමාරුවෙන්.සේවා ලබාගන්න එන අය මිනිහ හමුවෙන්න බෝඩිමට එනවා. පුද පඬුරු අරගෙන. පුදුම සැලකිලි. මිනිහ දැක්කම වාහන නතර කරල දාගෙන යන්නෙ. මගකදි සේවා ලාභියෙකුට හමු උනොත් අඩුම ගානෙ තේ හරි අරන් දෙනවා. මන්ත්‍රී තුමාට වගෙයි සැලකිල්ල.
මම දැක්කට කිසි කෙනෙක් ගණන් ගන්නෙත් නෑ අඩුම ගානෙ මගෙන් වැඩ කරගත්ත කෙනෙක් මම දැක්කට කථා කරන්නෙවත් නෑ.
අර යාළුවට දැන් කාරෙකක් තියනවා, තව ගල් මෝලකුත් හයි කරල දැන් කෝටි පතියෙක්. මට තවම මං හදා ගනිපු පුංචි ගෙයි වැඩ ටිකවත් ඉවර කරගන්න බැරිව ඉන්නවා.
හැබැයි මං ලඟ සතුට සහ සැනසීම තියනවා. සිතේ කිසිම බරක් නෑ. හරිම සැහැල්ලුයි.
අර යාළුවට කොලොස්ට්‍රරෝල්, දියවැඩියාව, දැන් බයිපාස් එකක් කරන්න ඕනළු. ඒක නොකර අනුරාධපුර පැත්තෙන් සිංහල බෙහෙත් කරනවා.
වෙනස ඒකයි

No comments:

Post a Comment